Wednesday, November 3, 2010

මතක

හිතක බර වැඩි හන්ද
හිලව් වුණු ජීවිතය
ඵල නොගෙන අතරමඟ
නතර කළ කාරණය
මඟහැරුණු ආත්මය
ඵල දරපු අවාරය
මුලා කළ තරමටම
රඳා දුන් ආදරය....

මුවා වී සැඟවුණත්
සඳ නැතිද අමාවක
අවරගිර සැඟවුණත්
හිරු නැතිද නිසාවක
දිදුලමින් නොසැලුණත්
තරු නැතිද දවාලක
අපට අමතක වුණත්
මතක ඇත ඉසව්වක

වේගයෙන් මියැදුණත්
ඉරි තලන විදුලියක
සැනසුමක සහනයෙන්
ඉසිඹුලන නිමේශෙක
නැතිවුණත් ඇතිවෙමින්
අතරතුර විරාමෙක
ශිලාවක ලියූමෙන්
මතක දුර දනව්වක

Tuesday, October 26, 2010

ඇරයුම

පළමු හිම පතනයට ඇරයුමයි...
කලු අහස...
පාට නැති පොද වැස්ස එව්වාට
සී කඩක සීරුවට
හෝ අනෝරා වැහි සතක්
චුරු චුරුව එකදිගට වැ‍ටුණාට
දැණුනෙ නැහැ
සිහිලසක් ඒ හැටිම
වැහි බින්දු..
උන් ඔහේ ගලනවා
විඩෙන් විඩ අතරමග නැවතුණත්
උන් දිනක මහ මුහුද දකිනවා
ලද සිහිල ගිනි අව්ව දවනවා
නැවත මා පිපාසෙන් පෙළෙනවා


ටික කලක් මගේ හිත රවටන්න
හිම පොරෝනය ඇතුළෙ ගුලි වෙන්න
හිරි වැටෙන තුරු දෙවුර තෙරපන්න
නිහඬවම හෑල්ලුවෙ පාවෙමින්
ඔබ ඉතින් මා වෙතට පැමිණෙන්න
වැහි සේම හිරු ‍රැසක තෙද බෙලෙන්
ගියත් මා හැරපියා ඔබ දිනෙක
හිරි වැ‍ටුණ හිත මවෙත තිළිණ දුන් නිසාවෙන්
දැනෙණු නැහැ ඒ තරම් ලතැවුලක්

ගිනි වැදුණු හදවතින් ලියන්නෙම්
මම ඔබේ මහ පොළොව සෙනෙහසින්...

Friday, June 18, 2010

පහන් වූ රෑ

පෑල දිගින් අන්තිම හිරු ‍රැස් බිඳුවත් වියැකෙද්දී
ගාල් බැඳන් එන කරුවල ලාම්පු එළි දල්වද්දි
සාංකාව පිල් කඩ පැන ගෙයි අහුමුළු ඉවලද්දී
රාත්තිරිය දිගු වෙන බව මගෙ හිත මට කොඳුරද්දී

හීන් සැරේ නෙතු මානෙන් මුළු ගැන්වුණු සිත සිත්තම්
ඇඟිලි තුඩින් පෑන් තුඩට කාන්දු වුණු කව් ගෙත්තම්
රාත්තිරිය පහන් වුණත් නොනිදාලන ලය රිද්දම්
හෙමින් සැරේ ලියා සරමි නන්නාඳුන ලොව නිම්හිම්

සංවේදන ගතකුරු පණකුරු එකිනෙක මුහුකෙරුවම
සංහිඳියාවට ලී කව් නෙක නෙක රිද්මෙන් තීවම
සංවාදය අතර පතර ඒ කව් පද ඔප දැමුවම
සංසාරික ගමන් මගක නව මිතු දම් එක් වූවම

පෑල දිගින් අන්තිම හිරු ‍රැස් බිඳ වියැකී ගියාට
රෑ කරුවල ගාල් බැඳන් මා වටකොට තෙරපුණාට
තනිකම ගෙයි අහුමුල්ලෙම තනියම මුළු ගැන්වුණාට
රාත්තිරිය පහන් වුණා කවි පද වැල් ඇමිණුනාට

Sunday, June 13, 2010

දින




ඒඩ්ස් දින

ළමා දින

මව්වරුන් පියවරුන්ගේ දින

පෙම්වතුන්ගේ දින

නොයෙක් වූ දින සමරන

නිමක් නැති තේමා උපදින

තුන්සිය හැටපහක් දින මදි වෙන

නිම් නොවූ විසල් මෙදෙරණ
උපත මරණය අතරින

දිනෙන් දිනකට හතිලන

හුස්මකින් හුස්මකට වෙරලන

උපන්දින පවා නැති උන

දිවි කූඩු මඟ දිගට ඇතිරිණ

Wednesday, June 2, 2010

මා නොලී කවි

මේ ටිකේ කවි ලියා ගන්න තරම් නිස්කාංසුවක් නැති නිසා හිතුවා මම කියවපු පහත සඳහන් කවි ටික ඔබ සමඟ බෙදා ගන්න.. වසර දහසයකට පමණ පෙර පාසලේ පුස්තකාලයේ පි‍ටු ගැළව ගිය පොතක තිබූ මේ කවි මගේ හිතේ තවම ‍රැඳී තියෙනවා. සමාවෙන්න ලියූවේ කවුරුන් දැයි නොදනිමි..

අවසන් පෙම (Last Love)

ගෙවෙන දින දෙස බලා
අතිමහත් භක්තියෙන්
අතිමහත් මුදු බවින්
පෙම් කරන්නෙමුය අපි...
සමු ගැන්මෙ සන් එළිය
සැදෑ අහසෙහි නැගී
දිලෙන්
තව තව දිලෙන්
අවසාන ප්‍රේමයේ....
අහස් වියනෙන් අඩක්
අඳුරු ඇඟළුම් ලද්දි
පෑල දිග අහස් කොණ
එල්බ ගත් එළි බිඳක්
බිදින් බිද මුදාලයි
සැඳෑ එලියක කැළුම්....
ඉදින්,
තව තව ඉදින්
නොයා ඉක්මන් ගමන්
සොඳුරු සැන්දෑ එලිය
නහර තුල ලේ ගමන දුබල වුව
හදවතේ මුදු ගුණය නැත ගෙවී
අහෝ!
අමතමි ඔබට මා
අවසන් පෙම,
ප්‍රහර්ශය......
පීඩනය.....
සතුට...... හා
නට පැතුම්......
මේ සියල්ලම ඔබය.


සිහින බිඳ වැටී ගොස් (My former dreams have long since vanished)

සිහින බිඳ වැටී ගොස්
සකල ආශා තුනි වී
මිය ගොස් නිශ්ඵල හදවත
ඉතිරි කර දුක් වේදනා....
ගිළිහිලා පත් පත් කිරුළෙහි
කුරිරුය දෙන පහර දෛවය
සන්තාපය පැමිණ
ගිලගෙන ආත්මය
සිටිමි එන තෙක්
දුකින් අවසානය.....
වහින විට තුහින
මූසල අහස යට
විඳ විඳ සී පහර
ගෙන එන සුළඟ
ශීත මිටි පහර කා ගුලි ගැහී
හිරි වැටී වෙව්ලමින් සැලි සැලී
අත්තක ඇලී ගෙන පතක්
ඉන්නේ හරියටම මේ ලෙසය....


පෙම් කළෙමි මම් ඔබට (I loved you and that love refusing to die...)

පෙම් කළෙමි මම් ඔබට
කවුරු දනිත්ද ඒ පෙම
මරණය පිළිකෙව් කොට
තවම මා තුල
දැල්වෙනු විය හැක ...
නොතැලුවෙමි ඔබ සිත
අදහන්න මා
දැන දැනම කිසිවිටෙක
නොතැලුවෙමි මා ඔබ
ඵලක් නොමලැබෙන බව
දත් නමුදු
නිහඬවම පෙම් කළෙමි ඔබට මා..
තිරසාර මිදු පබා
විහිදුවන මා පෙම,
කුලෑටිය....
ඉසි බවින් බරය...
ප්‍රචණ්ඩය....
දෙවියනි,
දෙනු මැනවි
වෙනත් කෙනෙකුට ශක්තිය
එවන් පෙමකින් ඔබ පුදන්නට.......

Wednesday, May 26, 2010

බිඳුණු නිද්‍රාව

ගයන්නම්
නි‍ද්‍රා ගීයක්
ඇවැසි නම් නිදන්නට
විඩාබර නෙතු පියට...

වයන්නම්
මුදු සොඳුරු තනුවක්
වාරු ගෙන
අතැඟිලි තුඩින්
පිරිමදින හද වෙණ තතින්...

සදන්නම්
සුව යහනක්
අඳුරු මුත්
සොඳුරු වන පෙතෙහි
ඈත ගැඹුරක...

නමුදු...

බිඳුණහොත්
ඒ සොඳුරු නිද්‍රාව..

පිරිපහදු කළ නොහී
මළ බැ‍ඳෙන තත්
නින්නාද නොම නැගුන
තනුව මා...

නිනව් නැති ගම් දනව් සරා ගොස්
හිම කතර නතර වූ
හීතලෙන් හිරිවැ‍ටුණු
පවන මා...

පදෙන් පද කඳුළු වැල් අමුණමින්
විඩෙන් විඩ සුසුම් රළ පා කෙරූ
මුවින් මුව නිරන්තර ‍රැව් නොදුන්
කවිය මා

Sunday, May 23, 2010

සිතුවිලි - "ඇය" සහ "ඔහු"


ඇය........

නිහඬතාවය බිඳින
රිය සක කැරකැවෙන
හඬ පමණි
ඇය මුනිවත රකියි
සිතා දැන් දැන්
ඔහු තෙපළතැයි
මුදු වදනක්
හෙළතැයි මඳ සිනාවක්....
පශ්චත්තාපය
වෙළා මුළු හද මඬල
නෙත් බොඳව
ළය සිරව යනු වැනිය
වියළි තොල්පට
තෙමා දිවගින්
හෙළු සුසුමින් පා කර හරනට
හිතේ වූ බරපොදිය
එක්වනම
රියේ වේගය වැඩි වුයෙන්
නෙත් කොණින් යොමා
ඔහු වෙත බැල්ම
තක්සේරු කරන්නට
ඔහු සිතුවිලි.......
රෑ පුරා වැළපුණෙන්
ඉදිමුණු දෙනෙත් දැවෙනුයෙන්
වසා පිටි අත්ලින්
සිහිල විඳ මොහොතක්
අළුත ඉනු කඳුල ද
තලා පිස එනයින්
ඉදිරියටම ඇදෙන
රියේ කවුළු දොරින්
බලා හිස් බැල්මෙන්
නේක වූ දසුන්
පටලා අතැඟිලි
හිස නවා ගති..........


ඔහු....

සීමා කළ යුතුය
උදය වරුවට මේ සැම
නොවේනම්
සති අන්තයම ගෙවීයයි
මේ අයුරින්ම.........
ඵලක් නැති දෙයකට‍
රැයත් නිදි වැරූ නිසාවෙන්
මඳක් ගිමන් හළ යුතුය
අද සැන්දෑව.......
නළල් තලය ‍රැළි නඟා
සවන් යොමයි
කොහෙන් එන හඬක්ද ඒ
පසුපසින්?
ඉදිරියෙන්?
නෑ නෑ පසුපසින්!
වම ද දකුණ ද?...
ඉදිරිපස පුවරුව දෙස
යොමයි නෙතු
කෙසේ ගිමන් හරින්නද
නඩත්තුව පිණිස
ගෙන යා යුතුමය
අද අදම.....
නැතිනම්,
හෙට සිට දිගටම
කාලයක් නැහැ ඉතින්
ඉක්මණින් යා යුතුයි
තව තවත් වේගයෙන්.....

Thursday, May 20, 2010

වරදකාරි



ගේ අද්දර වතුසුදු මල් මං නැතුවට පිපෙනවාද
නංගි වැවුව උඳුපියලිය නුඹෙ පා සුවපත් කළාද
පිළිකන්නේ රඹ පඳුරේ දැන් රඹ කැන් පීදිලාද
තාප්ප බැඳ තනි වෙන කොට හිතවත්කම් අඩුවෙලාද

පෝය දාට පුරහඳ ඔහෙ දිලිහි දිලිහි තියෙනවාද
හැම පෝයෙම නොවැරදීම නුඹ තව සිල් ගන්නවාද
නුඹ බලන්න දානෙ උයන් එන්න කෙනෙක් ඉන්නවාද
ඒ නැතුවම උදේ ‍රැයින් තනිව උයා ගන්නවාද

අපි එනතුරු මඟ බලමින් හැන්දෑවේ ඉන්නවාද
නංගිගෙ වැල්වටාරමුත් තොරක් නැතුව අහනවාද
සති අන්තෙදිවත් ගෙදරට දැන් අයියා එන්නෙ නැද්ද
අයියගෙ පොඩි උන් බලන්න අම්මා එහෙ ගියේ නැද්ද

නංගිගෙ මංගල්ලේ වැඩ තීන්දු කරගෙන ගියාද
මං එන්නැති බව හිතාන නෝක්කාඩු කියනවාද
ඒ වැඩ ටික කරට අරන් කරල දෙන්න කෙනෙක් නැද්ද
ඊට පස්සෙ නුඹෙ තනිකම මට දරන්න ඇහැක් වෙයිද

නුඹෙ හැටවෙනි උපන්දිනෙත් නුඹට මතක නැති උනාට
ලෝක මව්වරුන්ගෙ දිනෙන් නුඹට වැඩක් නැති උනාට
අපි දුන්නොත් මිස කවදත් කිසිවක් නුඹ නොගත්තාට
මං එවනා ඩොලර් වලින් නුඹට ඵලක් නැති උනාට

තාත්තා වෙන් වෙලා අපෙන් විසි වසරක් වුණා නේද
ඒ උනාට හැම වසරෙම අළුත් ඇඳුම් දුන්නා නේද
ඒ ඇඳුමුත් මදි කියමින් නුඹෙ හිත අපි තැළුව නේද
ඒ උනාට නුඹ අඳින්නෙ මොනාද අපි නම් බැළුවද

මගෙ පොත් ටික මේසය උඩ තවම තියන් ඉන්නවාද
දැන් ඒ පොත් පත් බලන්න කිසිම කෙනෙක් කැමති නැද්ද
නුඹේ හීන සුන් කෙරුවට මට තවමත් බනිනවාද
ඒ කළ පව ජාති ජාතිවත් ගෙවන්න හැකි වේවිද

අයියගෙ දරුවන්ට අම්මා අපිට වගෙම ආදරේද
අක්කාගෙන් මගෙ පාඩුව හිතු තරමට පිරුනෙ නැත්ද
මගෙ දරුවොත් ආවොත් ඔහෙ මහ ගෙදරක් වෙලා නේද
අපි එනකල් මඟ බලමින් අම්මෙ නුඹ ඉන්නවාද

විසි වෙනි දානේ දෙන්නට මට එන්නට බැරි උනාට
මෙහෙ තනියෙන් දන් බෙදුවේ වරදකාරි හිත හදන්ට
ඒ කළ පිං සියල්ලක්ම මං පිදුවෙ නුඹ දෙපළට
තාත්තාට නිවන් සුවය නිරෝගි සුවයත් නුඹහට

Saturday, May 15, 2010

අස්වැද්දුම

මුලාවෙන් විකල් වී
විසල් මෙ'දියත
දැන නොදැන හසරක්
ගෙවූ කාලය අවසන්

හිරු ‍රැසත් උණුසුම්
මඳ නල වෙළෙයි එනමුත්
සමගුණය ඇති මුත්
නැත එහි කිසිදු ජවයක්......

අකලට වුවද ඵලගත්
නිය ගැසූ දිවි පැතුමන්
වියළි වූ පරඬැල් සෙයින්
දිරාපත් වී බෝ කල්

විහිදවුනු අක් මුල්
ගැඹරෙහි පුරා ඇති මුත්
ජරපත් ව ඇතියෙන්
උදුරුවාලිය යුතුය විගසින්

හෙට ලොව දකිනු වස්
නවමු දිවි පැතුමන්
කෙලෙස නම් අස්වද්දවන්නෙම්
ඉරිතැලුණු හදකින්....

Thursday, May 13, 2010

ගොළු කවිය

කාංසියට කවි ලීවට
යාප්පුවෙන් හිත හදාන
හාංකවිසියක් නෑ හිත
පාං පැලට ගිනි තියන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මගෙ හිත නොදු‍ටුවාට
වාං කරන් ඉන්නෙ කෝම
යාං හෑලි අඳෝනාව.....
රාං කුරුල්ලන් ගැවසෙන
අවකාසෙට මං ආවම
ලාස්සනට ගෙත්තම් කල
ගී රස පදවැල් දු‍ටුහම
තාම්පුරා නාද ඇහෙන
ගී හද පොත මඟ කීවම
වාවා ගෙන ඉන්නෙ කෝම
දෝර ගලන කවි උල්පත......
කාර්තුවෙන් කාර්තුවට
වසර ගණන් දුව ගියාට
කාත් කවුරුවත් නෑ වෙන
වාං දමන හිත් දොර ළඟ
යාන්තමින් යාන්තමට
ඔබ ළඟ හිත ගොළු උනාට
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........

Tuesday, May 11, 2010

භාවනාවක් වන්න

සිතේ දොර'ගුළු ලන්න
සිතෙද්දී පවසන්න
සිත සංවේදනා
කිම තැවෙනු
යමෙක් වේ දැයි
ඒ අදහන.....
තරු අහස යට
මහ පොලොව මෙන්
තු‍ටු කඳුල
සෝ සුසුම
තනි සිතින් විඳ ගන්න......
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් පුරාලූ හීන
සමච්චල් පාච්චල්
වේ නම් පිලිවදන්........
ඵල වේද කිසිවකුට
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් හි වූ වේදනා......
හුදු කුතුහලය මිස
නැත කිසිදු අගයක්
ඉනික්බිති....
විශ්වයම ගීතයකි
ඇහුම් කන් දෙන්න ඔබ
නිහඬවම...
විපිළිසර විශ්වයක
භාවනාවක් වන්න ඔබ
නිරතුරුව...

Saturday, May 1, 2010

උල්පත සිඳී

රෑහී හඬක්
නො ඇසුකන්ව
කදෝ එළියක්
දුටත් නුදු‍ටුවන්ව
විඳවන්න ජීවිතය
හති හලා
දුව දුවා
විඳින්නට අමතකවු
දිවි කතර...
පහුරු ගා
අනලස්ව ගැඹුරු තැන්
රිද්දවා හොයන්නම්
පාදන්න බැරුව ගිය
උල්පත්...
පූදින්න පොරාතුව
මිලානව
මිහිදන්ව ගිය නමුත්
හීන මල්....
නොවූවොත් එහි යමක්???
විය නොහැක එවැන්නක්
තව වැරෙන් කණින්නම්
වැලි බොරළු
මැටි පස් ද
ඉවත් කොට සොයන්නම්
එද නොවී නම්!!!
මා අසරණයි.....
මැද්දෑවෙ හමුවෙනා
බුබුළු ලන ලෝ දියෙන්
ගිනි වැදුණු
හදින් මම ලියන්නම්
ඔබ නොරිස්සන නමුත්
මාද නොකමැති නමුත්
මන්ද,
උල්පත සිඳී ඇති බැව්නි

Saturday, April 24, 2010

නිබ්බුත

නෙත් කෙවෙනි කකියා
එන විට කඳුල නලියා
උන් නමුත් තෙරපා
නොපෙනෙන අයුරු පි‍ටුපා

ඔබ පා වඳින සඳ
නෙත වූ කඳුළු දු‍ටුවෙන
මා නොවේ ඔබ ගැන
ඇවිලු ගින්දර තවත් දැල්වෙත

උපන් ගෙයි දඟකම්
හිතුමතේ කළ දඩබ්බරකම්
හැරුණු විට කිසියම්
නැත කළ වරද වෙනයම්

සිත ඔබෙ පහන් කොට
නිබ්බුත පද කියන්නට
වරම් නොලැබෙන්නට
සිදුවුනේ ඇයිදැයි කියන් මට

කොතෙක් දේ කීවත්
කළත් නොමවේ සැනසුමක් නම්
මතු අත් බවේ වත්
මව්නි ඔබගෙ සිත නිවන්නම්..

Friday, April 23, 2010

තුති

දොඩමලු වු හදතුල
කකියා නැ‍ඟෙන පපුතුර
සියළු සැම දේ කැටි කොට
වදන් ලෙස මින් පිට කරන්නම්....

දිවි පමණ ‍රැක ගෙන
රිසි හැම දෙයින් සමු ගෙන
නික්මන්ව ආ දින සිට
ඔප නොදා සිටියෙන....

මොට වූ බසින් ලියනෙමි
වැරදි වැරදි නැගිටිමි
දෙන ඔවා අගයමි
කියවන සැමට තුති දෙමි.

Wednesday, April 21, 2010

දිවුරුම

කුණා‍ටුව පසුපස එන
කලත්තන දූවිලි නවත්තන
හිතේ රස්නය නිවාලන
සිහිල් වැසිපොදක් මිස....


මල්පෙති ලපලු තෙරපා
ගහ කොළද උදුරා
ගං දිය දෑල උතුරා
නොවන්නමි මම අසනි වරුසා...


ශිශිරයට සමුදී
ආ විට වසත් සමෙහී
ඉදිමි මම සැඟවී
අළු අතුල ගිනි පුලිඟු ලෙසිනී...


වියලි රළු පරඬැල්
සැඬ හිරු දවයි රත්වන්
ලොවක වූ ගිනියම්
තවත් ලැව් ගින්නක් නොවන්නම්...

තරු

සඳ නුදු‍ටු සඳ
වසන්තයෙ අග රාත්‍රී
සරන නෙත් නුබ ගැබ
උකා ගාති ඔබ රූ...

ප්‍රභවය ඔබේ හිරු නොව
ප්‍රභාවද නුඹෙමය
සඳට විළි වනු කුමටද?...

අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබ
මුදා ලනු මුදු පබා
සිත් පුරා ලූ යුරු....

Monday, April 19, 2010

හීන




හීන ලස්සන නම් අපි ආසයි. ලස්සන හැම හීනයක්ම හැබෑ වෙනවා නම් තවත් කැමතියි. ඒත් ලස්සන වෙන ආස වෙන තරමටම හීන බිඳ වැටීම සිත් තැවුල් දෙන බව අපිට මතක් වෙන්නෙ හුඟාක් පමා වෙලා. ඒත් අපි හීන දකින එක නවත්වනවා ද?



අහස් ගව් ගනන් උස
නුඹෙ සමනළ හීන
අනෝරා වැස්සකට
සේදිලා නැහැ පාට
බොඳව හීනය සැලෙයි..


අහස දෙස බලා නුඹ
හූල්ලන හඬ ඇසෙයි
තවත් සායම් උලා
පාට කර ලන්න බැහැ
ඔබේ හිත ඉකි ගසන
හඬ ඇසෙයි..


හීනයක කෙළවරේ
කඳුල උරුමය තමයි..

Saturday, April 17, 2010

අසම්මතය

මී බඳුන තුරුළු කොට
දුම් වැටිය සිප ගන්න
හීන් හීනෙක ‍රැඳී
අඩ දෙනෙත සතපන්න...
දුම් වළා අතරමැද
උමතු ලොවකට වන්න
සුළඟ මත තවරවා
ඔය සුවඳ මට දෙන්න...
හෙමි හෙමින් පාත් වී
සුදු කොපුල සිප ගන්න
මුදු දෙතොල විවර කර
මඳහසක් මට දෙන්න...
උණු කඳුළ තව එපා
නෙත් කෙවෙනි පුරවන්න
මේ විරහ දුක නිවා
හදට සිහිලක් දෙන්න...

මහා සාගරයකින්
දිය බිඳක් ඵල වේද?
අසම්මත පෙම් ලොවක
නුඹ කෙලෙස වැජඹේද?
ඉතින් ඔය කොපුල් තල
මා කෙසේ සිප ගම්ද?
මා මියෙනතුරා නුඹ
පිළි ගන්න හැකි වේද?

පන්හිඳ

මම වගේ නුහුරු නුපුරුදු කවියන්ට නම් පන්හිඳට වාරු වෙන්න දුක මූලයක් තමයි. ඒත් උදාන ගී ලියන කවියොත් ඕන තරම්. සැපතෙදි නිදහසේ හිතන්න වෙලාවක් නොදෙන තරම් අය අප වටා හිටියත් දුක අපිව තනි කරවනවා. හිතන්න ඉඩ ලබ දෙනවා.. ඒ නිසාවෙන්ම හුඟ දෙනෙක් අතින් මුලින්ම ලියැවෙන්නෙ දුක් ගැනවිලි කියලයි මට හිතෙන්නෙ.. ඉතින් අවසර දුක සන්සිඳින මඟක් සොයා යන්නට....

මට දුකයි..
නුඹ ලියයි...
මගේ දුක තුනී වෙයි
මගෙ හිතේ බර, නුඹට
දරන්නට වූ සෙයයි...
වටකුරුව යුහුසුළුව
නුඹ වදන් ගලපවයි...
සුදු කොළය මත
අළුත් කවිය
හරි ලෙංගතුයි...
ඒ මතට වැක්කෙරුණු
කඳුළු බිඳු ලස්සනයි..
සිතුවමක්...???
නැත..
එයම සිතුවමක් වූ වගයි...
පත් පුරා පිරූ මුත්
නුඹට වෙහෙසක් නොවෙයි..
මගේ පන්හිඳ සදා
නුඹට මම ආදරෙයි.....

Tuesday, April 13, 2010

පූර්විකාව


කොතනින්ද දන්නෙ නැතිව උනත් මේක පටන් ගන්න ඕනෙ. ගෙවපු කාලෙ දිහා හැරිලා බලද්දි හිතට ඇතුළු උන වේදනා සංවේදනා එක්ක හිතේ කියා ගන්න බැරි තරම් කප්පරක් මනෝ භාවයන්...

වැරදුණු තැන්... හරි ගිය තැන් වගේම වැරදුණු නිසාම හරි ගිය තැනුත් හරි ගිය නිසාම වැරදුණු තැනුත් අනන්තයි....

කියවන්න කෙනෙක් නැති උනත් කියා ගන්න දේ බොහෝමයි...ඉතින් මේ සයිබර් අවකාශයට මගේ සුසුම් බරක් නොවේවායි පමණක් මම පතන්නම්....


මගේ හිත
ගැබ්බරින්,
සංවේග...
සන්තාප....
වදන් අතරට මුසුව,
සඳැස්...
නිසඳැස්...
විලි වැදූ වගනම්


අප්‍රියෙල් 13, 2010