Friday, June 18, 2010

පහන් වූ රෑ

පෑල දිගින් අන්තිම හිරු ‍රැස් බිඳුවත් වියැකෙද්දී
ගාල් බැඳන් එන කරුවල ලාම්පු එළි දල්වද්දි
සාංකාව පිල් කඩ පැන ගෙයි අහුමුළු ඉවලද්දී
රාත්තිරිය දිගු වෙන බව මගෙ හිත මට කොඳුරද්දී

හීන් සැරේ නෙතු මානෙන් මුළු ගැන්වුණු සිත සිත්තම්
ඇඟිලි තුඩින් පෑන් තුඩට කාන්දු වුණු කව් ගෙත්තම්
රාත්තිරිය පහන් වුණත් නොනිදාලන ලය රිද්දම්
හෙමින් සැරේ ලියා සරමි නන්නාඳුන ලොව නිම්හිම්

සංවේදන ගතකුරු පණකුරු එකිනෙක මුහුකෙරුවම
සංහිඳියාවට ලී කව් නෙක නෙක රිද්මෙන් තීවම
සංවාදය අතර පතර ඒ කව් පද ඔප දැමුවම
සංසාරික ගමන් මගක නව මිතු දම් එක් වූවම

පෑල දිගින් අන්තිම හිරු ‍රැස් බිඳ වියැකී ගියාට
රෑ කරුවල ගාල් බැඳන් මා වටකොට තෙරපුණාට
තනිකම ගෙයි අහුමුල්ලෙම තනියම මුළු ගැන්වුණාට
රාත්තිරිය පහන් වුණා කවි පද වැල් ඇමිණුනාට

6 comments:

  1. කළුවර ලාම්පුව, අඳුර, කාන්සිය, කවිමුතු වැල්, කවිමිතු දම්... ගැන බොහෝ දේ කියවුන ලස්සන පදවැලක්.

    මේ මිතුදම් මොන තරම් නම් සුන්දරද... මෙ සයිබර් අවකාශයේ හමුවී මිතුදමක් ඇතිවූ අය එක් රැස් වුණොත්! ඒ මොහොත මොනතරම් ලස්සන වෙන්න පුලුවන්ද...

    ReplyDelete
  2. දහසක් හැඟුම් තෙරපෙන රෑ දිගු වැඩිය..
    ඒ සා හැඟුම් පත් ඉරුවක දිග හැරිය..
    ලෙංගතු හිතැත්තන් ගැන පේ කල කවිය..
    සත්තයි නගේ නිව්වා මගෙ හිත් පොඩිය..


    සුලා..

    ReplyDelete
  3. පෑල දිගින් අන්තිම හිරු ‍රැස් බිඳ වියැකී ගියාම
    රෑ කළුවර ගාල් බැඳන් අප වටකොට තෙරපුණාට
    සඳ සෙවනැල්ලක් වාගෙම හිත ළඟට ම ළංවුණාම
    සංසාරික මිතු දම් සොඳුරුයි හදවත් එක් වුණාම

    ReplyDelete
  4. මේ උල්පතෙන් දිය දෝතක් ගන්න මෙච්චර කල් බලාන ඉන්නඕනෑද අප්පා.....

    සුලා

    ReplyDelete
  5. දිය දෝතක පැන් අවැසිවෙලා
    බලා සිටිමි ඔබ ලියන තුරා
    නෙතු උල්පත ඔබ කොහිද කියා
    අසන්න සිතුනි කිමද පමා..??

    ReplyDelete
  6. hello.. friends.. a bit busy these days.. hope to write soon. pls bear with me..

    ReplyDelete