Saturday, May 1, 2010

උල්පත සිඳී

රෑහී හඬක්
නො ඇසුකන්ව
කදෝ එළියක්
දුටත් නුදු‍ටුවන්ව
විඳවන්න ජීවිතය
හති හලා
දුව දුවා
විඳින්නට අමතකවු
දිවි කතර...
පහුරු ගා
අනලස්ව ගැඹුරු තැන්
රිද්දවා හොයන්නම්
පාදන්න බැරුව ගිය
උල්පත්...
පූදින්න පොරාතුව
මිලානව
මිහිදන්ව ගිය නමුත්
හීන මල්....
නොවූවොත් එහි යමක්???
විය නොහැක එවැන්නක්
තව වැරෙන් කණින්නම්
වැලි බොරළු
මැටි පස් ද
ඉවත් කොට සොයන්නම්
එද නොවී නම්!!!
මා අසරණයි.....
මැද්දෑවෙ හමුවෙනා
බුබුළු ලන ලෝ දියෙන්
ගිනි වැදුණු
හදින් මම ලියන්නම්
ඔබ නොරිස්සන නමුත්
මාද නොකමැති නමුත්
මන්ද,
උල්පත සිඳී ඇති බැව්නි

9 comments:

  1. මේ නිර්මාණය තුල මම සෙවීමක් දුටුවා. මම හරිද නම් දන්නෙ නැහැ. පෙම්වතියකගෙ හෝ කවියෙකුගෙ සෙවීමක් වගේ දෙයක්.
    ඒ අදහසින් නිර්මාණය රස වින්දා බෙහෙවින්ම..

    ReplyDelete
  2. හදවත පහුරු ගා ප්‍රේමය සෙවීමක්ද මේ.... ? තේරුම් ගියේ නම් එහෙමයි අක්කේ... වැරදිනම් නිවැරදි කරන්න........ තේරුම් ගිය අර්ථයෙන් නිර්මාණය රසවින්දා......... අපූරුයි...

    ReplyDelete
  3. ප්‍රේමය ඇතුළුව සිතෙහි නැතිව ගිය සංවේදනාවන් සෙවීමට ගත් වෙහෙසක් හැඳින්වීමට ගත් උත්සාහයක්... ස්තූතියි දෙපළටම...

    ReplyDelete
  4. මට මේ මා හොඳින්ම දන්නා කෙනෙක් ලියනවා යැයි හැ‍ඟෙන්නේ ඇයි...?

    ReplyDelete
  5. ඇයි අක්කෙ රිදව රිදව හොයන්නෙ..?
    ඊට වඩා මෘදුව, නොරිද්ද ව හෙව්වොත්
    ඒ සංවේදනා ඔයා ඇතුලෙ හොයා ගන්න
    පුළුවන් වෙන එකක් නැද්ද?

    (මම නම් රිදවීම කියන වචනෙටත් අකමැති නිසාද දන්නෙ නෑ මට මෙහෙම හිතෙන්නෙ ?)

    ReplyDelete
  6. උල්පත සිඳී නැත
    පය තබා වසා සිටින්නේ
    රිදෙයි සිතා නොගලන
    මුදු උල්පතම නෙවෙද

    ලස්සනයි පදපෙල.

    ReplyDelete
  7. එතකොට මේ කවි සමුච්චයම "උල්පත" සෙවීමක්ද...?
    එච්චර සැඩ කිරණක් කොහෙන් ආවාද මෙච්චරම සිඳී යන්න...?
    මොනවා වුනත් මේක තමා මම දැක්ක ලස්සනම කවිය මේකේ දැනට...

    ReplyDelete
  8. @චේජනා, උත්සාහ කරන්නම් නංගී, අවවාදය පිළිගත්තා.

    @ගල්මල්-coral, හ්ම්ම් පය අරන් බලමු නේද?

    @තිස්ස දොඩන්ගොඩ,
    1. සැබැවින්ම
    2. උත්තරය-මම දන්නෙත් නැහැ නොවැ
    3. :) මල් හිනා :) :)

    ReplyDelete
  9. අක්කෙ,
    ඒක අවවාදයක් නෙවෙයි.. මම කිව්වෙ මම හොයන හැටි,
    මම නම් ඔය සමහර කට්ටිය කරනව වගේ කළ වැ‍රැද්දටයි
    නොකළ වැ‍රැද්දටයි ඔක්කොටම කාටවත් ම රිද්දන්නෙ නෑ...මට ත් නෑ...

    ReplyDelete