
ගේ අද්දර වතුසුදු මල් මං නැතුවට පිපෙනවාද
නංගි වැවුව උඳුපියලිය නුඹෙ පා සුවපත් කළාද
පිළිකන්නේ රඹ පඳුරේ දැන් රඹ කැන් පීදිලාද
තාප්ප බැඳ තනි වෙන කොට හිතවත්කම් අඩුවෙලාද
පෝය දාට පුරහඳ ඔහෙ දිලිහි දිලිහි තියෙනවාද
හැම පෝයෙම නොවැරදීම නුඹ තව සිල් ගන්නවාද
නුඹ බලන්න දානෙ උයන් එන්න කෙනෙක් ඉන්නවාද
ඒ නැතුවම උදේ රැයින් තනිව උයා ගන්නවාද
අපි එනතුරු මඟ බලමින් හැන්දෑවේ ඉන්නවාද
නංගිගෙ වැල්වටාරමුත් තොරක් නැතුව අහනවාද
සති අන්තෙදිවත් ගෙදරට දැන් අයියා එන්නෙ නැද්ද
අයියගෙ පොඩි උන් බලන්න අම්මා එහෙ ගියේ නැද්ද
නංගිගෙ මංගල්ලේ වැඩ තීන්දු කරගෙන ගියාද
මං එන්නැති බව හිතාන නෝක්කාඩු කියනවාද
ඒ වැඩ ටික කරට අරන් කරල දෙන්න කෙනෙක් නැද්ද
ඊට පස්සෙ නුඹෙ තනිකම මට දරන්න ඇහැක් වෙයිද
නුඹෙ හැටවෙනි උපන්දිනෙත් නුඹට මතක නැති උනාට
ලෝක මව්වරුන්ගෙ දිනෙන් නුඹට වැඩක් නැති උනාට
අපි දුන්නොත් මිස කවදත් කිසිවක් නුඹ නොගත්තාට
මං එවනා ඩොලර් වලින් නුඹට ඵලක් නැති උනාට
තාත්තා වෙන් වෙලා අපෙන් විසි වසරක් වුණා නේද
ඒ උනාට හැම වසරෙම අළුත් ඇඳුම් දුන්නා නේද
ඒ ඇඳුමුත් මදි කියමින් නුඹෙ හිත අපි තැළුව නේද
ඒ උනාට නුඹ අඳින්නෙ මොනාද අපි නම් බැළුවද
මගෙ පොත් ටික මේසය උඩ තවම තියන් ඉන්නවාද
දැන් ඒ පොත් පත් බලන්න කිසිම කෙනෙක් කැමති නැද්ද
නුඹේ හීන සුන් කෙරුවට මට තවමත් බනිනවාද
ඒ කළ පව ජාති ජාතිවත් ගෙවන්න හැකි වේවිද
අයියගෙ දරුවන්ට අම්මා අපිට වගෙම ආදරේද
අක්කාගෙන් මගෙ පාඩුව හිතු තරමට පිරුනෙ නැත්ද
මගෙ දරුවොත් ආවොත් ඔහෙ මහ ගෙදරක් වෙලා නේද
අපි එනකල් මඟ බලමින් අම්මෙ නුඹ ඉන්නවාද
විසි වෙනි දානේ දෙන්නට මට එන්නට බැරි උනාට
මෙහෙ තනියෙන් දන් බෙදුවේ වරදකාරි හිත හදන්ට
ඒ කළ පිං සියල්ලක්ම මං පිදුවෙ නුඹ දෙපළට
තාත්තාට නිවන් සුවය නිරෝගි සුවයත් නුඹහට