Monday, September 5, 2011

හිස්තැන්

හිත හිස් වෙලා
හිතන්නට මොකවත්ම
නැත්තටම නැති තරම්
හිතෙන්නට කිසිවක්ම
දැනෙන්නෙත් නැති තරම්
පතන්නට හිතුමතේ
පැතුමන්ද නැති තරම්
හිත හිස් වෙලා

මුව ගොළු වෙලා
මුමුණන්න මුව පුරා
කවියක්ද නැති තරම්
ගයන්නට හිත පුරා
ගැයුමන්ද නැති තරම්
තොල'තරින් ගිලිහෙනා
පදබැඳුම් නැති තරම්
මුව ගොලුවෙලා

නෙතු වියැළිලා
උනන්නට නෙතු පුරා
උල්පතක් නැති තරම්
හෙළන්නට ඉකි ගසා
කඳුළැල්ද නැති තරම්
හිනාවී හිනාවී
ඇඬෙන්නෙත් නැති තරම්
නෙතු වියැළිලා

මඟ පැටළිලා
කවුරුන්ද කාගේද
මතකයක් නැති තරම්
කොහේදැයි කෙසේදැයි
හසරක්ද නැති තරම්
කවදාක කෙලෙසකද
නිනව්වක් නැති තරම්
මඟ පැටළිලා

2 comments:

  1. තැලුන ද පොලොව
    හිරු රැස් කකා
    දිය දහර සිහින්
    ඇදෙනා බාධක නොතකා
    මතු වෙයන් උල්පත
    දිය පොදක් බුබුලා

    ReplyDelete
  2. @ ගල්මල්-Coral,

    ඉඳහිට හෝ ලියන කවි කියවා දුන් දිරියට තුති

    ReplyDelete