හරිත ලපලු තුරු වදුලක
ගිම් නිවන්න මං ආසයි
නිල වැතිරුණු නුබ කුසයට
වැතිර ඉන්න මං ආසයි
වෙරළ කොණේ ගුම් නද මැද
නෙතු පියන්න මං ආසයි
ඉහ රත්වෙන අව් රැල්ලක
ඇවිද යන්න මං ආසයි
ඉර ගිලිහෙන හැන්දෑවක
කවි ගොතන්න මං ආසයි
පොද වැහි මැද හෙමින් සැරේ
පියමනින්න මං ආසයි
පාට වැටුණු මල් පෙති මත
පිණි දකින්න මං ආසයි
පවන් රොදක දැවටී එන
මල් සුවඳට මං ආසයි
තරු ගිලිහුණ රෑ ගන'ඳුර
උහුලගන්න මං ආසයි
වැහි බීරුම තියෙන දාක
ගුලි ගැහෙන්න මං ආසයි
තනිකඩ වුණු සිතුවිලි මැද
තනි රකින්න මං ආසයි
කෝඩුකාර සිතුවිලි ළඟ
දඟ කරන්න මං ආසයි
නිමේශයක් හැබෑ ලොවෙන්
වහං වෙන්න මං ආසයි
ලොවේ සොඳුර හදවතින්ම
වැළඳ ගන්න මං ආසයි
ඒ මතකය සදා කල්ම
පණ පොවන්න මං ආසයි
නිරන්තරව තොරක් නැතුව
රහ විඳින්න මං ආසයි
අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg
4 days ago

ඔබ ආස පද ගොතන්න
ReplyDeleteඋල්පතින් මතු කරන්න
ඒ කවි මුතු රසවිඳින්න
කවදත් අපි ආසයි
සුපුරුදු සොබාදහම හිතට මොන තරම් නම් සමීපද...
කාලෙකට පසුව ඔබෙන් අගේ ඇති කවි පන්තියක්. හරිම ලස්සනයි.
හරිම අපූරු පදවැලක්. වෙහෙසෙන දවසක් අවසන මෙහෙම කව් මිණක් කියවන එක පවා සිතට ලොකු විවේකයක්. හැබැහින්ම කරන්න ඇත්නම් මොනතරම් අගේද? බොහොම ස්තුතියි. සුභ පැතුම්.
ReplyDelete